Sunday, October 9, 2011

දහම් පාසලේදී කල කුමන්ත්‍රණය..

ලංකාවේ දහම්පාසල් අතරින් ඉතාම හොඳටම ක්‍රියාත්මක වෙන්නේ කීපයක් විතරයි නේ,ඒ වුනාට මම ගියපු එක දහම්පාසලක්වත් අවාසනාවට වගේ ඒ කැටගරි එකට වැටුනේ නෑ. මේක මම දහම්පාසල් යන්න පටන්ගත්තුම කාලේ වෙච්ච කතාවක්.

 ඔය දහම්පාසල් ගීතයේ තියෙනවානේ එක පේලියක් "ඉසිකෝ මන් හැම බිඳ හැරලා " කියලා,  ඔය ඉසිකෝ කියන වචනයේ තේරුම  මම දැන ගෙන හිටියේ නෑ, එක වසරේ එකාලා තියා ලොකු අයවත් ඕක දැනගෙන උන්නේ නෑ මං හිතන්නේ, , අනික ඉසිකෝ කියන වචනේ සිංහල වචනයක් කියලා හිතෙන්නෙත් නෑනෙ , ( "වර්චස්" කියන වචනය වගේ) .. ඉතිං පොඩි විදානරාල හිතුවා ඉසිකෝ මන් හැම බිඳ දානවා කියන එකේ තේරුම ඉස්කෝල ඔක්කොම කඩලා දාන එක කියලා! මොකද මම ඒ කාලේ හිතුවේ ඔය දහම්පාසල කියන්නෙත් ඉස්කෝල ජාතියක් කියලා, දහම්පාසල ඇරෙද්දී ගීතය මම කිව්වේ බයෙන් බයෙන් වගේ, මම හිතුවා ඕක ඉස්කෝලෙට ආරන්චි උනොත් ඉස්කෝලෙට විරුද්ධව කුමන්ත්‍රණය කිරීමේ වරදට බඩ කට පුරා හම්බු වෙයි කියලා.

අනික මොනවා උනත් දෙයියනේ දවස් පහක් තිස්සේ උගන්නන ඉස්කෝලෙට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ මොන හිතකින්ද? අනික එහෙම කරොත් මට ශිල්පය පිහිටන එකකුත් නෑ, ඒ නිසා මම අභීත තීරනයක් ගත්තා, දහම් පාසල් ගීයේ ඔය පේලිය නොකියා ඉන්න.
 වැඩේ කියන්නේ කිසිම යාලුවෙකුට ඉස්කෝලේ ගැන හැඟීමක් නැති හැටි, පුදුම ගුන මකුවො ටිකක් නේ! කියන හැටි ඉස්කෝලේ බිඳලා දාන්නම් කියලා!
අනිත් එක මේව ගෙදරට ආරන්චි උනොත් තාත්තාගෙනුත් හම්බු වෙයි මදි නොකියන්න!

විශ්වාස කරන්න මිතුරනි මම ඉසිකෝ මන් හැම බිඳ දාල කියන එකේ තේරුම දැන ගත්තේ ගිය සතියේ...! ඒකත් අහම්බෙන්! මම කුඩා කාලේ සිතා සිටි අන්දම මට මතක් උනේ එවිටයි.එතෙක් මට මේක අමතක වෙලයි තිබුනේ.

ප.ලි - කමෙන්ට් කල අය සඳහන් කර සිටි ආකාරයට 'ඉසිකෝ' කියන වචනයේ තේරුම සඳහන් කරන්නයි මේ සූදානම් වෙන්නේ, ඉසිකෝ කියනේ තනි වචන්යක් නොවෙයි(ලු ). ඉසිකෝමන් කිව්වම තම්යි එතන තනි වචන්යක් වෙන්නේ, ඒකෙන් අදහස් වෙන්නේ,
ඉසි - ඊර්ෂ්‍යා
කෝ - ක්‍රෝධ
මන් - මාන
ඉසිකෝ මන් හැම බිඳ හැරලා කියන්නේ , ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, සහ මානය කියන දේවල් බිඳ දමනවා කියන එකයි...